ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ
“තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප්‍රල් හින්නප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. හට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහායට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබළු බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්නප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව් රශ්මිය හට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්‍රල් හින්නප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.”
“මධ්‍යමයට ආසන්නවත්ම කොකාවිල් සටනෙහි තීරණාත්මක මොහොත එළඹියේය. ලුතිනන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිද්‍රව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමඟ සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණ. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදින තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබඳ තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.”
