සන් ලං නම් වූ මනබන්ධනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාස නාම ලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂී යෑන් සහතික කොට ගත්තේය.
එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබුණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඛ්‍යාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂී යෑන්ට මග හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂී යෑන්ට අවස්ථාව එළඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අබියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කෙතෙක් වුවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළිකරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ෂී යෑන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි, අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.


