හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එයා ගාවට ගිහින් වාඩිවෙලා ඒ මූණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩි කොල්ලවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද?
ශේන් කණ්ණාඩි දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදී ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලත් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙක ගැලෙව්වා. තව, වළස් තොප්පියක් වගේ වැවිලා තියෙන කොණ්ඩෙන් චුට්ටක් අතින් ඇද්දා.
ඒ එක්කම මම විදුලි වේගයෙන් මගේ අත ශේන්ගේ කොණ්ඩෙන් ඇදලා අරගත්තා. මට ඒ වෙලේ මාව වෙව්ලනවා වගේ දැනුණා. නමක් දෙන්න බැරි බැඳීමක් මගේ හිතට කියාදෙන්න මට බය හිතුණා.


